Friday, 7 October 2016

ගමන තව දුරයි!


























මම ටිකෙන් ටික ලොකු වෙද්දී, අම්මා ටිකෙන් ටික වෙනස් වුනා. මම ලොකු ළමයෙක් වෙන කාලය වෙන කොට අම්මා ගොඩාක්ම වෙනස් වෙලා. අම්මාගේ වෙනසට මගේ හැසිරීමත් හේතුවක් වෙන්න ඇති. 

අම්මා කියන විදියට මම ආදරේ ගැන කිසිම හැඟීමක් නැති කෙනෙක්. එතකොට ඒ දෙන්නාගේ, ඒ කීවේ අම්මාගේ සහ තාත්තගේ තිබුණු ආදරේ හැඟීම් පිරිල ඉතිරිලා ගිය ආදරයක්ද? 

අපේ පවුල හරිම ජංජාලයක් කීවොත් හරි. හැම පවුලකම වගේ කේලම්, අඬ දබර අපේ පවුලෙත් තිබුණා. අම්මා පවුලේ එකම ළමයා. සීයා තාත්තාට නංගිලා දෙන්නෙකුත්, මල්ලිලා දෙන්නෙකුත් හිටියා. ආච්චි අම්මාට හිටියේ නංගිලා දෙන්නෙක්. ඒ අය සෑහෙන්න බාල හන්දා වැඩිය ලං වුනේ අපේ අම්මට.

අම්මාගේ නැන්දලා, ආච්චි අම්මාට පොඩ්ඩක්වත් කැමති නෑ. ඇත්තටම එයාගේ සමහර හැසිරීම් තේරුම්ගන්න මටත් බෑ. සීයා තාත්තාගේ රියැදුරු චමත් අය්යට එයා සැලකුවේ වැඩකාරයෙකුට වගේ. 

"කොල්ලෝ කුස්සිය පැත්තට ගිහින් මොනවා හරි කෑවා නම්" එයා කියනවා. 

ඒ වෙලාවට චමත් අය්යාගේ මූන නරක් වෙනවා මම දැකලා තියෙනවා. ඒත් සීයා තාත්තා චමත් අය්යාව ලඟින් වාඩි කරලා කන්න දෙනවා. 

"ඔහොම කරපුවාම ඔය මිනිස්සු එනවා කරේ නගින්න" ඇය සීයා තාත්තාට කියනවා.

අම්මාව නරක් කරලා තියෙන්නේ ආච්චි අම්මා බව පවුල් දෙකේම අය හිතනවා. තාත්තා මම ගොඩක් පොඩි කාලේ වැඩ කරලා තියෙන්නේ කොළඹින් ගොඩක් දුර පළාතක. අම්මාට එහේ සැප මදි කියලා ආච්චි අම්මා හැම තිස්සෙම කීවලු. මේ නිසාම අම්මා සැරින් සැරේ ගෙදර ගිහින් තියෙනවා. තාත්තාට කෑම දීලා තියෙන්නේ ළඟ ගෙදරකින්. 

දවසක් මහ රෑ මේ දෙන්නා රණ්ඩු කළාම, අම්මා සීයා තාත්තාට ෆෝන් කරලා ගෙන්නගෙන. අම්මා එයාගේ උකුල උඩ වාඩිවෙලා ඇඬුවලු. ඒ කතාව කීවේ තාත්තාගේ අයියාගේ නෝනා. මගේ ලොකු අම්මා. එයා මධ්‍යම පාන්තික ගැහැණියක්. අපේ අම්මාට ඉරිසියා කරපු කෙනෙක්.

"මම නම් එදාමයි එයාව ගෙදර යවන්නේ" එයා කීවලු. 

ලොකු තාත්තලා හිටියේ පිටරට. එයාලට දුවලා දෙන්නෙක් හිටියා. බලපුවාම පෝසත්කම බේරෙනවා කියලයි ආච්චි අම්මා කීවේ. මට නම් එහෙම පෙනුනේ නෑ. ඉඳගන්න අමාරු කොට ගවුම් දෙකක් නම් ඇඳගෙන අපේ ගෙදර ආවා මට මතකයි.

එයාලා ආවාම ගෙවල්වල නතර වුනේ නෑ. ෆ්ලැට් එකක් කුලියට ගත්තා. අම්මා මාත් ඇදගෙන ගිහින් එයාලට උදේ කෑම හදනවා මට මතකයි. ඒ අක්කලා මාව අරගෙන ගිහින් ගොඩක් සල්ලි වියදම් කරලා ඇඳුම් අරගෙන දුන්නා. මම එයාලට වැඩිය කතා කළේ නෑ. එයාලා හිතුවේ මම ගොඩක් ලැජ්ජයි කියලා. මම හිතුවේ එයාලා ගොඩක් මෝඩයි කියලා.

මම ළඟදි කියෙව්වා හරි ආදරයක් දැනෙන්නේ මැදිවියට ආවට පස්සේලු. මුලින් මිනිස්සු විවාහ වෙන්නේ ආසාව පාලනය කරගන්න බැරිවුනාමලු. ඉතින් ළමයි ලැබිලා, එයාලා උස් මහත් කරලා කාලයක් ගියාම ලබන හිස් වකවානුවෙදි එයාලට තමන් හොයන නියම ආදරේ මුණ ගැහෙන්න පුළුවන්ලු.

මේ කතාව දැක්කාම බයත් හිතෙනවා. එහෙම වෙන්නේ කොහොමද? එහෙමනම් ඉතින් මැදිවිය එනකල් ඉඳලා ඔය නියම ආදරේ තියෙන කෙනෙක්ව හොයාගත්තාම හරි. මට හිතුනේ එහෙමයි.

මට තියෙන තවත් ප්‍රශ්නයක් තමා එක්කෙනෙක් එක්ක කොහොමද ඔහොම සදාකාලික ආදරයකින් ඉන්නේ කියන එක. එකට ඉන්නකොට තමා දෙන්නෙක්ගේ වැරදි පේන්නේ. පිළිවෙලට තියෙන නාන කාමර අවුල් කරලා, ගෙවල් ජරා කරලා , තව කොහෙවත් යන පිරිමින්ගේ වැඩ කරලා, එයාලගේ බැණුම් අහලා. අනේ මට නම් බෑ වගේ. අනෙක පස්සේ හොඳ කෙනෙක් මුණගැහුනොත්? 

මට ඔය කියන ආදරේ මේ ජීවිතේදිනම් ලැබෙන්නේ නැතිවෙයි. අම්මාගේ ආදරේ දිනාගන්න බැරි කෙල්ලෙක් කොහොමද පිට පිරිමි කෙනෙක්ගේ ආදරේ දිනා ගන්නේ. 

මෙඩුසා, සුරංග අය්යා කියනවා වගේ මධූෂා, ඔයාට තව ගොඩක් දුර යන්න තියෙනවා.

ගමන තව දුරයි!

46 comments:

  1. ඔව්.. ගමන දුරයි.. පහුබහින්නෙ නැතුව ඉදිරියට ගියොත් හීනෙකින් වත් නොහිතන කෙනෙක් වුනත් හම්බවෙන්න බැරි නෑ.. :)

    ReplyDelete
    Replies
    1. හීනෙන්වත් නොහිතෙන කෙනෙක් හම්බ වුනොත් හොඳයි තුශානි. හීනවලදි දකින්නෙම හම්බ වෙන්නේ නැති අයනේ.:)

      ගමන දුරයි තමා. දැන්මම මහන්සි. :(

      Delete
  2. ගමන දුරයි මඟ කටුකයි ......ඔහොම යමු ...ජයවේවා !!

    ඉරට නොවේ දුක ඉර රළු වැඩි හින්දා
    සඳට නොවේ දුක සඳ තරු ලඟ හින්දා
    නුඹට නොවේ දුක සෙනෙහස නැති හින්දා
    හිතට දැනේ දුක හිත සියුමැලි හින්දා
    ගසට නොවේ දුක ගහ කොල ඇති හින්දා
    මලට නොවේ දුක බමරුන් එන හින්දා
    නුඹට නොවේ දුක සෙනෙහස නැති හින්දා
    හිතට දැනේ දුක සෙනෙහස වැඩි හින්දා
    ගමන දුරයි තව මග දුර වැඩි හින්දා
    සයුර දුරයි තව වෙරලට දුර හින්දා
    හිතට දුරයි නුඹ මගෙ හිත ලඟ හින්දා
    හිතට දුකයි මට සෙනෙහස වැඩි හින්දා

    ගායනය - නිලා වික්‍රමසිංහ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සිංදු: තරම් සිංදු දන්න කෙනෙක් මම කවදාවත් දැකලා නෑ. ඔයාට තියෙන්නේ පුදුම දක්ෂකමක්.

      Delete
    3. නරක මුතූ. ඇයි කමෙන්ට් එක මකලා දැම්මේ? :)

      Delete
  3. / මට තියෙන තවත් ප්‍රශ්නයක් තමා එක්කෙනෙක් එක්ක කොහොමද ඔහොම සදාකාලික ආදරයකින් ඉන්නේ කියන එක. එකට ඉන්නකොට තමා දෙන්නෙක්ගේ වැරදි පේන්නේ. පිළිවෙලට තියෙන නාන කාමර අවුල් කරලා, ගෙවල් ජරා කරලා , තව කොහෙවත් යන පිරිමින්ගේ වැඩ කරලා, එයාලගේ බැණුම් අහලා. අනේ මට නම් බෑ වගේ. /

    හෙහ්..හැමෝටම එක පාරක් හරි එහෙම හිතෙනව මම හිතන්නෙ.මටනම් එහෙම හිතුන දහස් වරක්....:) ඒත් එව්ව හරියනව දන්නෙම නැතුව...බිය නොවනු මැන...

    ඔබේ ලිවීම ඉතාම අපූරුයි...මගේ සුබ පැතුම්!....:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රවි අය්යේ. රවි අයියා ලියන ඒවා ගොඩක් ආසාවෙන් කියවනවා.

      මට තාම හිතාගන්න බෑ එක්කෙනෙක් එක්කම කොහොමද ඔහොම ඉන්නේ කියන එක. ඒත් අත්දැකීම් තියෙන අය කියන ඒවා අපි ඉතින් පිලිගන්නවලු.

      Delete
  4. මේක ඉක්මණින් ඉක්මනින් ලියන්න කියල තමයි කියන්න වෙන්නේ.. කියවන කෙනාට අග මුල හරියට තේරුම් ගන්න තව කොටස් කීපයක් වත් කියවන්න වෙනවා.. මේ ස්ටයිල් එක බ්ලොග් වලට නම් ඕකේ.. ශොර්ට් ඇන්ඩ් ස්වීට්.. හැබැයි තව ටිකක් සංයමයෙන් ලියනවානම් හොඳයි .. දිගටම ලියන්න. ජය!

    ReplyDelete
    Replies
    1. //ටිකක් සංයමයෙන් ලියනවානම් හොඳයි// please explain :)

      සංයමය කියන වචනේ තේරුම මම බැලුවා. continence, control, discipline, moderation, restraint. සංවරය කියන එකත් එක තේරුමක්. ඒ සංවරයෙන් තොර කොටස් මොනවද කියලා පෙන්නලා දෙනවා නම් කැමතී. එතකොට වැරදි හදාගන්න පුලුවන්නේ. :)

      මම මේ දවස්වල 'මළගිය ඇත්තෝ' කියවනවා. ඒ කතාව හරිම ලස්සනයි. ඒකේ ජපන් ජාතික ගැහැනු ගැන කරලා තියෙන විස්තරය මතක් වුනා අයියාගේ කතාව දැක්කම.

      "පැරණි කවීන් කියු පරිදි සියුමැලි යනගි අත්ත මෙන් නැවී ඔවුහු කෙතරම් ලාලිත්‍යයකින් ඒ බර උහුලත්ද? ඔවුන් කතා කරනා ලීලාවෙහි, බත් බඳුනක් අතට ගන්නා සැටියෙහි, මේ ශිෂ්ටාචාරය පිළිබිඹුවී පෙනේ...." මේ කොටස තව දිගට තියෙනවා. මට 'සංයමය' කියනකොට මතක් වෙන්නේ මේ ජපන් ගැහැනු. ඒ අතින් බලනකොට මට නම් සංයමය ගෑවිලාවත් නැතුව ඇති. කතාව ඇත්ත.

      Delete
  5. කිසිවක් සදාකාලික නොවේ

    ReplyDelete
  6. ආසාවෙන් කියෙව්වා... දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිථිල. ඔයාගේ නම ලීවා හරිද?

      Delete
    2. මිතිල උනානම් තමා හරි...

      Delete
  7. කසාද බැඳලා දරුවෝ හදලත් ආදරේ මුණ නොගැහෙන මිනිස්සු ඉන්න එකේ පහුවෙලා හරි එහෙම වෙන එක මොකද..

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒකත් ඇත්ත තමා. දිනේශ්ගේ කතා වගේම වෙනස් අදහසක්.

      Delete
  8. දුරයි කියල කියනව කොහොමද දන්නැ

    ReplyDelete
    Replies
    1. ජීවිත ගමන ඉතින් දුර එකක්නේ? සමහර ඒවා නම් කෙටියි තමා. මම නම් මේ පොඩි කාලෙට ඉන්නේ ඉන්නේ හති වැටිලා.

      Delete
  9. ඔයාගෙ ආච්චිඅම්මා ඔයාගෙ අම්මව ඔලුවට විෂ පොවල නරක් කලා වගේ මේ සමාජයේ දහස් ගනං කාන්තාවො වෙනිං කාන්තාවන්ගෙ ඔලුවට විෂ පොවල නරක් කරනවා. අපේ පරම්පරාවෙන්වත් මේ අනුංගෙ ඔලුවට විෂ පොවන එක නැවැත්තුවෙ නැත්නං තව පරම්පරා කීයක දියණියො, පුතුන් අනාථ වෙයිද දන්නෙ නෑ. නෑදෑයන්ගෙන් කිසිම දෙයක් ගන්න හොඳ නෑ, විශේෂයෙන්ම අදහස්. අවුරුද්දකට සැරයක් වරිපනං ගෙවනව වගේ එයාලගෙ ගෙවල්වලට ගිහිං මොනව හරි තෑග්ගක් දීල ආවම ඇති. ඔයත් පවුලෙ අයගෙන් කිසිම අදහසක් ගන්න එපා. වැඩිහිටියන්ගෙන් අවවාද ගන්න එපා. බහුතරය අපිට අවවාද කියල දෙන්නෙ එයාලගෙ හිතලු. එව්වා නැංගුරම් වගේ. අපේ ඉදිරිගමනට බාදාවල්.

    ReplyDelete
    Replies
    1. හරිම ඇත්ත. මම දැකපු හොඳම අවවාදේ. ස්තූතියි සුරංග අයියේ.

      Delete
    2. ඇත්ත. අපිට අවවාද දෙන උදවියගෙ ජීවිත ගොඩාක්ම සාර්ථක නං, ඒ අවවාද පිළිගන්න පුළුවං...

      Delete
  10. //මට ඔය කියන ආදරේ මේ ජීවිතේදිනම් ලැබෙන්නේ නැතිවෙයි. අම්මාගේ ආදරේ දිනාගන්න බැරි කෙල්ලෙක් කොහොමද පිට පිරිමි කෙනෙක්ගේ ආදරේ දිනා ගන්නේ.// මටනං විස්වාස නෑ මේ කතාව. හැක්..

    ඔය සුරංගය කියල තියෙන්නෙ ‍කියන්න ඕන දේ.

    ReplyDelete
    Replies
    1. අර දේශකය කියන එකා තාම මෙතනට ඇවිල්ල නැද්ද?

      Delete
    2. ඔයාට ඇත්තටම මාව විශ්වාස නැද්ද? :P

      කොහෙද මේ දේශකයා කියන ඔයාගේ නිවුන් සහෝදරයා?

      Delete
  11. ඇත්තටම නියම ආදරයක් ලැබුන දවසට මෙඩූසගෙ හිතේ තියෙන අදහස් වෙනස් වේවි . නියම ආදරයක් කියන්නෙ මොකක්ද කියල කවුරු හරි ඇහැව්වොත් , මට ඒක නිර්වචනය කරන්න බැරිවේවි . ඒත් ඒ ආදරය හිතට දැනෙන එකක් වෙනවා අනිවාර්යයෙන්ම ........

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයිද? ඉඳලම බලමුනේ :P

      Delete
  12. මේ වගේ අත්දැකීම් ලැබූ අය තව බොහෝ සිටිනවා. නමුත් ඒ කතාව ලෝකයාට කියන්න තරම් ඔවුනට ආත්මශක්තියක් නැහැ. ඔබ නිර්භීත පියවරක් තැබූ යුවතියක්. ඇතැමුන් ජීවිතේ අමිහිරිම අත්දැකීම් ලබන්නේ පිටස්තරයන්ගෙන් නොවෙයි. තමන්ගේම අයගෙන්. ඔබ තනි වී නැහැ මෙඩුසා.....!

    ReplyDelete
    Replies
    1. තාම කතාව ඉවර නැහැ තිසර. එතකොට හැමෝම තේරුම් ගනී සිද්ධ වෙලා තියෙන දේ හරියටම.

      Delete
  13. පියවරෙන් පියවර නේ ගමනක් යන්නේ (පයින් යනවනං)...ප්‍රා ජේ කිව්ව වගේ ඔය සිතුවිලි සදාකාලික නෑ..ජීවිත ඇත්දැකීම් එක්ක අපි හැමදාම ඉගෙනගෙන වෙනස්වෙවී ඉස්සරහට යනවනේ...කොහොමත් හැමදේම බරට හිතන එක හොඳයි..හැබැයි යන්නේ ඉස්සරහටය කියලා හිතාගෙන ඒක කරන්න ඕනි...
    අනිත් අයගේ ආදරේ තේරුම් ගන්න අමාරුයි මොකද ඒ හැඟීම දෙන්නෙක්ටම විතරක් සීමා වෙන නිසා..ඒ නිසා වෙන්නැති මධූෂාට දෙමව්පියන්ගේ ආදරේ හැඟුම් පිරිච්ච ආදරයක්ද නැද්ද කියන චමත්කාරය දැනෙන්නේ..ඒ චමත්කාරයම තමයි ආදරය...හිතන්න...!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මොනදේ වුනත් ඉස්සරහට යන්න ඕනි. ආදරේ ගැන නම් කිසිම අදහසක් නෑ. අදහස් දැනට නම් පහල නොවුනත් කමක් නෑ. කරන්න වැඩ ගොඩක් තියෙනවා ඊට කලින්.

      Delete
  14. මෙඩ් හිතන්නෙ, ඇයි අම්ම එහෙම වෙන්ඩ ඇත්තෙ? ඉලෙක්ට්‍රා සංකීර්ණය වගේ තත්ත්වෙයක්ද? ඒ පැත්ත ගැනත් ලිව්වොත්, ඔයාගෙ කියවන්නන්ට ඒක පෝෂණයක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න තවත් ලස්සන නමක්. මෙඩ් :D හරිම ආදරනීයයි. තේරෙන විදියට ලියන්නම් ඩ්‍රැකී.

      Delete
  15. මෙඩුසා.. ඔයාට කැමති ඕනම දෙයක් ඕනම විදිහකට ඔයාගෙ බ්ලොග් පිටුවෙ ඔයාට ලියන්න පුලුවන්.. ඒත් මට මගෙ හිත කියන දේයි මට දැනෙන දේයි මං ලියලා යන්නම්..

    අම්මා කෙනෙක් ගැන අපිට දැනෙන්න පුලුවන් ආදරේ නැ.. අපිව තේරුන් ගන්නේ නැ , හැමවෙලේම පෙන්නේ අපේ වැරදි කියලා.. ඒත් මෙඩුසා අපිව බිහි කරන්න ඒ අම්මා මොන තරන් කැප වීමක් කරනවද.. ඒ හැඟීම්, වේදනාව විස්තර කරන්න බැ මඩුසා වචන වලින්.. අම්මෙක් වෙලාම මිසක්.. අම්මා කෙනෙක් වෙනවා කියන දේ සරල දෙයක් නෙමේ.. අපේ මොළේ වැඩ කරන විදිහත් හෝර්මෝන වල බලපැමත් එතෙක් ලද සහ ලැබෙන ජීවිත අත්දැකීමුත් එක්ක ගොඩක් දේ වෙන්න පුලුවන්.

    බොහෝ වෙලාවට ලාංකික පිරිමියෙක්ගෙන් ගැහැනියකට ඕන කරන තේරුන් ගැනීම සහිත ආදරය ලැබෙන්නේ නැ වගේම ලංකාවේ ගැහැනු දරුවන් හදන විදිහට එය ලබා ගන්නේ කොහොමද කියලත් ඇය දන්නේ නැ..බලාපොරොත්තු කඩවීම් හරි සුලබ දෙයක් එවැනි පරිසරයක සමහර විට ජීවිතේම එපා වෙන තරමට.. එත් අපිව අංගසම්පුර්ණව බිහි කරලා අත පය නොකඩා හදලා කතා කරන්න, හිතන්න , ලියන්න උගන්නලා අම්මා කෙනෙක් තමන්ගෙ ජිවිතෙන් කැප කරන කොටස ආයේ අපෙන් අම්මට ලැබෙන්නෙ නැ. අම්ම කෙනෙක් වෙන්න කලින් හිටි කෙනා නෙමේ මෙඩුසා අම්මා කෙනෙක් උනාට පස්සේ ඉන්නේ.. ඒ කලින් හිටි කෙනා ආයේ කවදාවත් අම්මට අපි නිසා ලැබෙන්නෙ නැ..අම්මා අපිට ඒක කියන්නේ නැ

    මේ මට හිතෙන දේ.. මේ තරන් කැප වීම් කරලා අපිව මේ ලෝකෙට ගෙනාවට පස්සේ අපේ යුතුකම අපිට පුලුවන් හැටියට තියන සම්පත් වලින් ස්වාධීන වෙන්න උත්සහ කරන එක.. එහෙම වෙලා අපිව බිහි කරන්න අම්ම්මා කල කැපවිමට අම්මට සලකන එක ඇයගෙන් අපිට උනු අඩුපාඩු ටිකකට පැත්තකින් තියලා.. අඩුපාඩු හරි වෙන්නත් අපි මේ ලෝකෙට බිහි වෙලා ඉන්න ඔනිනේ නේද...

    පුංචි පැටියෙක් බන්ඩියේ ඉදන් ටික ටික ලොකු වෙද්දි හරියට නිදා ගන්න නැතුව තමන්ගේ කිසි වැඩක් තමන්ට ඔනේ විදිහට කර ගන්න නැතුව ඉවසගෙන මාස 9 ක්ම අපිව ආරක්ෂා කලා අම්මා.. ඉන් පස්සේ අපිව ඉපදුනාට පස්සේ කොයි වෙලෙත් අඬන අපේ ඇඩිල්ල ඉවසගෙන තමන්ගෙ තුවාල වල සහ මානසික වේදනාවත් තනියම ඉවසගෙන අපිට කිරි පොවන්නේ.. අනිත් කිසි කෙනෙක් නැතුව අම්මා කෙනෙක් තනි වෙන වෙලවක් ඒ..

    ඔයත් දවසක අම්මා කෙනෙක් වේවී..ඒ දවස ඔයාට ඔයාගේ අම්මව ගොඩක් හොඳින් දැනේවි තේරෙවි..අපි හැමෝටම එහෙම තමයි...

    මම මෙහෙම ලිව්වේ ඔයාගේ හිත රිදෙන්න වත් මේ ලියන දේ නවත්තන්නවත් නෙමේ.. කියෙව්වාම මට හිතුනු දේ.. මම දකින දේ...කිසිම තැනක මෙඩුසා එක කෙනෙක් විතරක් වැරදි නැ..එහෙම අපිට පේන එක මායාවක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිම්නා ලස්සන දිග කමෙන්ට් එකට. අම්මාත් එක්ක තරහා වගේම අම්මාට මම ආදරෙයි. හරි කතාව තාම කියැවුනේ නෑ. ඒ කතාව කියෙව්වාම නිම්නාට මාව මීට වඩා තේරුම් යාවි. දරුවෙක් ලෝකෙට බිහිකිරීම අමාරු ඇති. ඒත් ඒ බිහිකිරීමෙන් පමනක් කෙනෙක් අම්මා කෙනෙක් වෙනවද කියන එක මට සැකයි. දරුවෙක් දරුකමට හදන කෙනෙකුටත් හොඳ අම්මා කෙනෙක් විය හැකි. මට හිතෙන්නේ එහෙමයි. අම්මලාත් එක් එක් වර්ගයේ අය ඉන්නවා නේද?

      Delete
    2. නම මෙඩූසා වුණත් ඇයත් ගැහැණියක් නේද. හදවතක් ඇති නෙව ඇගෙ විරූපීයත්වයට යටින්. ඔබේ ප්‍රථම ලිපියෙ කියල තියෙනව වගේ ඇය තනි වුණ නිසා විය හැකියි ඇය කුරිරු වෙන්න ඇත්තෙ. නේද.
      තනිකම දැනෙන කොට මිනිස්සුන්ට දැනෙන දේවල් පුරුද්දට යනව. එහෙම වු්නාම තරහ කියන්නෙ සාමාන්‍ය සාධකයක් වෙලා ඒ කෙනා හුදෙකලාම වෙලා යනව. අනේ මංද. මෙඩූසගෙ ලියවිල්ල නං විශිෂ්ටයි.. ලියමු දිගටම. නැවත හමුවෙමු රසබර ලිපියකින්. ජයවේවා.. සුභ පැතුම්

      Delete
    3. මම ඔබ ගැනවත් මේ කතාවෙ අන් අය ගැනවත් කිසිම විදිහක නිගමනයකට ආවේ නැ මෙඩූසා.. මම කිව්වේ පොදු දෙයක්.

      ඔයා හරි මෙඩූසා.. දරුවෙක් ලැබුනු පළියට "අම්මා" කියලා අපි වැඳුම් පිඳුම් කරන පදවිය දෙන්න හිතෙන්නේ නැ.. ඒත් හැම කෙනෙක්ම අපි නොදන්න අපිට නොතේරෙන අරගලයක ජිවත් වෙනවා.. ඒ අස්සේ තමයි අනිත් අය ගැනත් බලන්නේ.. එක එක අයගෙ හැකියාව අත්දැකිම් අවට ඉන්න අයගෙ උදව්, හැදුනු පරිසරය වගේ දේවල් මත තමයි ගොඩක් දේ තීරණය වෙන්නේ..

      කොහොම උනත් ගැහැනියක් දරුවෙක් බිහි කරලා කිරි පොවල හදලා වඩනවා කියන එක මේ ලොකේ වෙන කිසි දේකට සම කරන්න බැරි කැප වීමක්.. එතනින් එහාට ඒ ගැහැනිය නැවත අම්මා කියන චරිතයත් ඇය ඊට කලින් රඟපාපු චරිතත් අතරේ දෝලනය වෙමින් තමයි ජිවිතේට මුණ දෙන්නෙ..

      ඕනම පවුලක උපදේශන අවශය අවස්තා මතු වෙනවා. ලංකාව වගේ රටවල් වල තාම මෙඩූසා උපදෙශන සේවා වගේ දේවල් හරි හැටි ක්‍රියාත්මක වෙන්නේ නැ.. ඒ නිසා ගැටලු ඇදි ඇදී යන ගතියක් විවෘතව කෙලින් කතා කරලා විසඳ නොගන්න කමක් අපේ සමාජ වල තියනවා තවමත්..

      ඒ වගේම තමන්ට ජීවිතේ මොනවද ඕන , මොනවද පුලුවන්, මොනවද බැරි කියලත් ගොඩ දෙනෙකුට හරි වැටහීමක් නැ, වැඩිහිටියන් කිව් නිසා හෝ සමාජයේ පවතින විදිහ නිසා තමයි තමන්ගේ ජීවිත ගොඩනඟන්න උත්සහ කරන්නේ..

      Delete
    4. අඩුම ගානේ අපෙන් පටන් අරන් ඉදිරි පරම්පරා වල අයවත් තමන් කවුද කියලා දැනුවත්ව හන්ගන්නේ නැතුව කෙලින් කතා කරල, ප්‍රශ්නයක් දැක්ක තැන නැවතිලා කතා කරලා, හොයලා විසඳගෙන යන්න උත්සහ කලොත් ගොඩක් වැරදි වැටහීම් අඩු වෙවි..

      ඔක්කෝටම කලින් අපේ රටේ දරුවො හදන යැපුම් ක්‍රමය නතර වෙන්න ඕන. දරුවන් තමන්ගේ ජීවිතය තමන් විසින් හොයා ගන්න ඕන..කවුරුත් හොයලා හදලා දෙනකන් ඉන්නේ නැතුව.. දෙමාපිය වැඩිහිටියන්ගේ මඟ පෙන්වීම විතරයි ලැබිය යුතු.. අගය කිරිම් ලැබිය යුත්තේ පැතිය යුත්තේ ඉන් පසුව මම හිතන්නේ..

      අපි අවුරුදු 18න් පටන් ගන්න හදන අපේ ජිවිත මම ඉන්න රටේ දරුවෝ පටන් ගන්නේ මෙඩූසා උපන් දවසේ..අපේ සමාජ වල දෙමාපියන් වැඩිහිටියන් දරුවන් වෙනුවෙන් එයාලගේ ජීවිත කිසිම ප්‍රතිලාභයක් නැතුව කැප කරන තරම දකින්න මට මෙහිදි පුලුවන් උනා..ඒ වගේම අපේ සමාජේ දරුවන් ඒ වැඩිහිටි කැප කිරිම තුල සිරකරුවන් වෙන හැටිත් මම වැඩියෙන් දැක්කා...

      Delete
    5. ඒ වගේම මෙඩූසා, ඔයාට උපදෙස් , අවවාද දෙන අය ගැනත් කල්පනාකාරී වෙන්න ඕන. තමන්ගේ ජිවිතේ සාර්ථකව සතුටින් තෘප්තිමත්ව ගත නොකරන අය දෙන උපදෙස් අපිව ඉහලට ගෙනියනවට වඩා පහලට තමයි ගෙනියන්නේ..

      ඒ වගේම අනිත් අය ආත්මාර්ථකාමි කියන අය ගොඩක් විට තමන් පරාර්ථකාමි කියලා හීන දකිමින් ඉන්න අය. ඒ නිසා ඔයා අවට ඉන්න අයව කල්පනාවෙන් විචාර බුද්ධියෙන් දකිමින් ඇසුරු කරගෙන ඔයාගේ ගමන යන්න.

      මේ මම මෙතෙක් කාලයකට දැම්ම දිගම කමෙට් එක..:)

      Delete
    6. හිතාගන්න බැරුව ඉන්නේ මොන වගේ උත්තරයක් දෙන්නද කියලා:) ඔයා කියන දේ තේරෙනවා නිම්නා. බටහිර හා ආසියාතික රටවල හැදෙන ලමයි හා දෙමව්පියන්ගේ වෙනස ගැනත් තේරෙනවා. අපේ රටේ දෙමව්පියන් ලමයින්ගෙන් තමන්ට බැරිවුනු දේවල් කරගන්න හදනවා. පුලුවන් තරම් දේවල් කරලා ආපහු තමන්ව බලාගනී කියලා හිතනවා. අනෙක් රටවල වෙන්නේ ලමයින්ට ඔවුන් කැමති දෙයක් කිරීමේ නිදහස , තනි තීරන ගැනීමේ නිදහස තියෙනවා. අල්ලා ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ.

      අන්තිමට දීලා තියෙන අවවාදය හරියට වටිනවා.

      Delete
    7. මහේෂ්: ගොඩක් ස්තූතියි මහේෂ් අය්යේ. දිගටම ඇවිත් කියවන්න. එතකොට මෙඩුසාගේ කතාව තේරෙයි.

      Delete
  16. දරුවෙක් වැදූ පමණින් මවක් වෙන්නේ නැහැ වගේම , දරුවෙක් ඉපදුන ගමන් ගඟකට කුණු ගොඩකට විසිකරන අම්මලත් ඕනේ තරම්. සමහර විට මෙඩූසා නොදැන හිටියත් , මොකක්ම හරි හේතුවක් ඇති. ඒත් අර කළින් හැදින්නුව අම්මලට වඩා මෙඩූසගෙ අම්මා හොඳයි කියල එයා කවද හරිතේරුම් ගනීවි

    ReplyDelete
    Replies
    1. මගේ අම්මා ඔය හැමෝටම වඩා හොඳයි කියන එක මම දන්නවා. අම්මාට මොකද වුනේ කියන එක හරියටම විසඳගන්න බැරුව ඉන්නේ රෙහානා.

      Delete
  17. මමනම් කරන්නේ නෑදෑයින් වුනත් කියන දේ වැරදියි නම් ඒ කනෙන් අහලා මේ කණෙන් පිට කරනවා. ඊට පස්සේ මට හොඳයි කියලා හිතෙන විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ නෑදෑයින් එපා කියන විදිහටම තමයි අන්තිමට වැඩ කෙරෙන්නේ.. ජයවේවා !!!!

    ReplyDelete
    Replies
    1. මාත් ඉතින් එහෙම තමයි. :) ස්තූතියි කවිඳු ආවට.

      Delete

ඔබේ අදහස ලියා යන්න. කරුණාකර අසභ්‍ය වචන හා අපහාසාත්මක දේ ලියන්න එපා.