Sunday, 2 October 2016

අහසින් පොළොවට...



























මට තාමත් හරියට තේරුම්ගන්න බැරි එක දෙයක් තමයි කොහොමද තරහව පාලනය කර ගන්නේ කියන එක. හැම කෙනාම හරිම අසාධාරණයි කියන එක හිතුනු ගමන් මගේ හිතට එන්නේ තරහාවක්.  විශේෂයෙන්  මගේම අම්මා ගැන!

"මොනවද ඔය කොණ්ඩෙට කරගෙන තියෙන්නේ?" ඇය අහන්නේ මගේ මූණ දිහාවත් බලන්නේ නැතුව.

මගේ කොණ්ඩේ කොහොමත් රැළි. පාලනය කරගන්න හරිම අමාරුයි. දිග කූරු කොණ්ඩයක් තිබුණානම් කියලා වෙලාවකට හිතෙනවා. අනික් අය වගේම මමත් කැමති මට නැති දේවලට. ඉතින් මම යාළුවොත් එක්ක වෙලාවක් ලැබුනාම කරන්නේ කොණ්ඩයට පුළුවන් තරම් වද දෙන එක.

"මොකක්ද ළමයෝ මේ ගවුම?"

ආච්චි අම්මා අහන්නේ අම්මාගෙන්. කොලර් එකක් දාපු, චූටි අත් දෙකක් අල්ලපු , මල් වැටිච්ච ගවුමක්. මගේ ඇස් නතර වෙන්නේ නලලේ. මේ වගේ ගවුම් දැන් කාලේ කවුරුත් අඳිනවා මම නම් දැකලා නෑ. සමහරවිට අම්මා පොඩිකාලේ අඳින්න ඇති!

"මේක ඇඳගෙන කොහොමද පාර්ටි එකකට යන්නේ?" ආච්චි අම්මා ආයෙත් අහනවා.

"ටානියානම් ලස්සන ගවුමක් අරගෙන තිබ්බා." මට කියවෙන්නේ ඉබේටම.

"ඒක ලා රෝස පාට ලස්සන ගවුමක්. ඒ ගවුමේ පිටක් තිබ්බෙත් නෑ!"

"ඔයා ටානියා නෙමෙයි!" අම්මා මගේ මූණ දිහාවත් නොබලා කියනවා. ඇය කතා කරන්නේ කිසිම හැඟීමක් නැතිව. ඒ මූණෙන් කිසිම දෙයක් පිටට දෙන්නේ නෑ.

ඔව්, ඉතින්. ටානියාගේ අම්මා බර්ගර්. මගේ අම්මා සිංහල.

ඇත්තටම අම්මා වෙනස් වුනේ කවදා ඉඳන්ද? මට වයස අවුරුදු පහක් විතර කාලේ වෙනකල්ම අම්මා කොච්චර නම් මට ආදරය කළාද? එයා චූටි මෙඩුසාව බදාගෙන ඉඹින හැටි මට තාම මතකයි. ඒ ස්පර්ශය, සුවඳ මට තාම දැනෙනවා වගේ.

"ලස්සන බබෙක්" මිනිස්සු මා දිහා බලලා කීවා.

"අම්මා වගේමයි!"

අම්මා මට ආදරය කලේ හරියට එයාට සෙල්ලම් කරන්න කවුරු හරි බෝනික්කෙක් ගෙනත් දීලා වගේ. මගේ තාත්තා මට ආදරය කලේ වෙනත්ම විදියකට.

"දුව දැන් අම්මට වඩා ලස්සනයි!"

තාත්තා එහෙම කියනකොට එයාට ඊර්ෂ්‍යා හිතුනද? නැත්නම් දුව ලොකු වෙලා අම්මට වඩා හැඩ වෙනවා දකිනකොට එහෙම වුනාද? අර හිම කුමාරිගේ කතාවේ එන පුංචි අම්මා වගේ. ඒ වුනාට මේ මගේම අම්මා. පුංචි අම්මා කෙනෙක් එහෙම වුනා නම් තව තේරුම් ගන්න තිබුනා.

සමහර වෙලාවකට දැන් මට කල්පනා වෙනවා ඇයි මගේ තාත්තා අම්මාව විවාහ කරගත්තේ කියලා. තාත්තා ගමක ඉපදුනු, ගොවි පරපුරක ගොවියෙක්ගේ පුතෙක්. සරමක් අඳින, බුලත් හපන ඒ සීයාට වඩා අම්මාගේ තාත්තා කොච්චර නම් වෙනස්ද? ඔහු සද්දන්තයි. මම බය නැති වුනාට දකින කාටත් බය හිතෙන විදියේ කෙනෙක්. සීයා තාත්තා කාරෙකෙන් ඇවිත් බහිනකොට 'මල්ලී' කියලා එයාට පාත්වෙලා වඳින ගමේ සීයා ගැන මටත් දුකත් හිතෙනවා. ගමේ ආච්චි ගෙදරට ඇන්දේ රෙද්ද හැට්ටේ. ආච්චි අම්මා ගෙදරට ඇන්දේ දිග ගවුම්.

මගේ අම්මා ගොඩාක් පොහොසත් කෙනෙක්. සල්ලි වගේම බලයත් එයාගේ පවුලේ අයට තිබුනා. ඒ තියෙද්දි මගේ තාත්තා වගේ කෙනෙක්ව එයා තෝරා ගත්තේ ඇයි. ඔය පොත්වල, ෆිල්ම්ස්වල තියෙනවා වගේ ආදරයක දෙන්නා පැටලිලා හිටපු නිසාවත්ද?

නැත්නම් තාත්තා ගොඩක් දුර ඉගෙන ගත්තු, ලොකු රැකියාවක් කළ කෙනෙක් නිසාද?

මේ මොනවා තිබිලත් වැඩක් නෑ. මම හරි අවාසනාවන්ත කෙල්ලෙක්. ඒක මම දැන ගත්තේ චූටි කාලෙම. අර "ලස්සන බබෙක්" කීව මිනිස්සුම මා දිහා බලලා "හරිම අවාසනාවන්ත දැරිවියක්" කියන්න පටන් ගත්තු වෙලාවේ ඉඳලම. සල්ලි තිබුණත්, ලස්සන තිබුණත් වැඩක් නෑලු අවාසනාවන්ත වුනාම.

දෙව්දුවක් අහසින් පොළොවට වැටුනා වගේ. අහිංසක මෙඩුසාට මිනිස්සු කරදර කරලා එයාගේ නිවසින් එලියට ඇදලා දැම්මා වගේ...

මෙඩුසා වගේම මමත් ඒ ගෙදරින් යන්න ගියා. ඈතට. ඈතට. ඈතටම...........

29 comments:

  1. Keep writing.. good... will show up when i'm PCble

    ReplyDelete
  2. මටත් තරහා යනවා හරියට ,හැබැයි මම දැං ඒක ගොඩක් දුරට පාලනය කරගන්නවා අපිට තරහ යන්නේ අනිත් අයගෙ වැරදි වලට , එයාලව හදන්න නොයා පාඩුවේ බලාගන හිටියහම හරි , එයාල ඇනගන කෙලඋනහම කාලකන්නි සතුටක් ලබන්නත් පුලුවං , (ඔහේ ලියන ඒවා තේරුම් ගන්න පුලුවං , හර බර වැල් වටාරං නැති නිසා )

    ReplyDelete
    Replies
    1. අටම්පහුර මට තරහා යන්නෙත් අනුන්ගේ වැරදිවලට තමා. පාලනය කරගන්නේ කොහොමද කියලා තාම තේරෙන්නේ නෑ. හරබර ඒවා ලියන්න තාම තේරෙන්නෙත් නෑ අටම්පහුර.

      Delete
    2. ඩ්‍රැකී මාත් :)

      Delete
  3. ගමේ සීයා ගැන කනගාටු හිතුණා. තමුන්ට බාල කෙනෙක්ට වඳින එක බලං ඉන්න අපිට දුකක්. මගේ පලවෙනි කොමෙන්ට් එකේ අදහස ඔයා මෙතනදි ආයිත් ඉස්තිර කරලා තියෙනවා. මං දන්න මධුෂා (මෙඩුසා සිංහලෙන් ලියන්නෙ එහෙමයි) හිත හොඳ කෙනෙක්. එයා ගමේ සීයා වගේ වෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්. මධූෂාත් ඒ වගේ කෙනෙක්. ලස්සන නම.

      Delete
  4. ගමේ සීයා ගැන කනගාටු හිතුණා. තමුන්ට බාල කෙනෙක්ට වඳින එක බලං ඉන්න අපිට දුකක්. මගේ පලවෙනි කොමෙන්ට් එකේ අදහස ඔයා මෙතනදි ආයිත් ඉස්තිර කරලා තියෙනවා. මං දන්න මධුෂා (මෙඩුසා සිංහලෙන් ලියන්නෙ එහෙමයි) හිත හොඳ කෙනෙක්. එයා ගමේ සීයා වගේ වෙයි.

    ReplyDelete
    Replies
    1. බොගෙ ඉස්සෙල්ල කමෙන්ට් එකේ තියෙන්නෙත් මේකම තමා. හැක්...

      Delete
    2. මම හිතුවේ කියන්න බැරි වුනු එකක් ආයෙම දාලා කියලා. ඒ වුනාට එහෙම දෙක, දෙක වැටෙන කොටත් හොඳයි.

      Delete
  5. ඇත්ත ටම මොකක්ද මේ සිද්ධිය?

    අන්ත දෙකක දෙගොල්ලක් දෙන්නෙක් එකතු වුනාම ඔය වගේ සිද්ධි සාමාන්‍යයි.

    කතාවේ ඉතුරු ටිකත් බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
    Replies
    1. පවුල් අර්බුදයක්. ඔව්. ආදරේ කීවට ඒක විතරක් මදි වගේ. ඉක්මනට ලියනවා.

      Delete
  6. අම්මෙක්ට එහෙම වෙන්ඩ පුළුවන්ද කියන ප්‍රශ්නෙ මගෙ ඔළුවට ආවෙ ඉස්සෙල්ලම සුරංගගෙ බ්ලොග කියවද්දි. මෙඩුසා ට දැන්වත් වාසනාව උදාවෙලා ඇති කියල හිතනව. එහෙමනම්, මේක හරියට පරණ තුවාල අතගානකොට දැනෙන වේදනාත්මක සුවය වගේ ඇති.

    ReplyDelete
    Replies
    1. දැන් නම් ගානක් නෑ. ඒ ගැන තරහා නැතුව ලීව හැකි.

      Delete
  7. දෙවෙනි වතාවටත් කියෙව්වට පස්සෙයි කමෙන්ට් එක ලියන්නෙ. ලේසියෙන් අහු වෙන්නේ නැති, කලාතුරකින් එළියට එන විදිහේ පැතිකඩකින් ඉස්සරහට යන නිසා මේ ලිපි පෙළ හරිම රසවත්.

    //සල්ලි තිබුණත්, ලස්සන තිබුණත් වැඩක් නෑලු අවාසනාවන්ත වුනාම.//
    මම නම් හිතන විදිහට වාසනාව, අවාසනාව කියන්නෙ හිතේ තියෙන සංකල්ප විතරයි. දක්ෂතාවයට සහ හිතේ ධෛර්යයට ඔය ඕනම බාධකයක් අභිබවා යන්න පුළුවන්.

    මම කලිනුත් කිව්ව වගේ මෙඩුසා කියන්නේ ලිවිල්ල අතින් සෑහෙන්න දුර ගමනක් යන්න පුළුවන් කෙනෙක්. මේක නවත්තන්න නම් එපා.

    ReplyDelete
    Replies
    1. රසවත්? ස්තූතියි යුගාන්. මමත් හිතන්නේ තමාගේ වාසනාව හරි අවාසනාව තීරනය කරන්නේ තමන්ම කියලයි. වැඩ නිසා මිසක් නවත්තන්න කල්පනාවක් නෑ.

      Delete
  8. දැන්වත් අම්මගෙන් ඇහුවද හේතු ?

    ReplyDelete
    Replies
    1. හේතු මමම හොයා ගත්තා.

      Delete
    2. Medusa has telepathic powers in addition to petrifying ones?

      Delete
  9. අතීතයේ මොකක් හරි සිදුවීමක් නිසා දුව ගැන අම්මට තරහා එනවද දන්නේ නැහැ. අම්මගෙයි තාත්තගෙයි පවුල් පසුබිමෙත් ලොකු වෙනසක් තියෙනවනේ. අම්ම කෙනෙක් ලේසියෙන් දරුවෙකුට වෙනස් කමක් කරන්නෙ නැහැනේ .මට හිතෙන විදිහට

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි මාත් හිතුවේ. ඒත් හැම තිස්සෙම එහෙම වෙන්නේ නෑ රෙහානා :)

      Delete
  10. පාඨකයා කතාව නොදන්නා බව තේරුම් අරන් ලියුවානම් තව ටිකක් හොඳයි.. වැඩි විස්තර ඉස්සරහට කතා කරමු. ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ

      Delete
  11. Replies
    1. ස්තූතියි නිර්මාණි

      Delete
  12. හොඳ රචනා විලාශයක්. දෙමව්පියන්ව තේරුම් ගන්න පුළුවන් කාලේ ආවම කරන්න තියන හොඳම දේ තමයි හැකිතරම් උපක්‍රමශීලීව ඔවුන් සමග සංවාදයේ යෙදීම. එයින් ඔවුන්ගේ අභ්‍යන්තරය තවත් නිරාවරණය කරගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට්ස් දැක්කේ නෑ කලින්. උපදෙසට ස්තූතියි විචාතුමා.

      Delete
  13. godak hithata vaduna blog ekak..good luck..podi illimak thiynva karanna avasara denavanam medusage namath ekka me kathandara uputa gaththta kamk nadda..

    ReplyDelete

ඔබේ අදහස ලියා යන්න. කරුණාකර අසභ්‍ය වචන හා අපහාසාත්මක දේ ලියන්න එපා.