Monday, 31 October 2016

අලුත් තාත්තා!


















කාලය හිමිහිට ගෙවිලා ගියා. ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා තිබු අම්මට, සීයා තාත්තා සිය යහලුවෙකුගේ මාර්ගයෙන් රැකියාවක් සොයා දුන්නේ මේ අතර. අම්මා වැඩි කතාවක් නොකලත්, ඇගේ දුක තරමක් තුනීව ගිය බවක් පෙනුනා.

කවුරු හිටියත් උදේට නම්  මාව පාසැලට බැස්සවූයේ ඇයයි. "හා හා අම්මට පරක්කු වෙනවා"උදේම ඇය මාව අවදි කරනවා. 

මූන හෝදගත්තු  මගේ, කොන්ඩය ඇය තදින් පීරනවා."ඌයි" ඊලඟට බටර් තවරපු පාන් පෙත්තකින් බාගයක් විතර මගේ මුව තුල ඔබනවා. "අම්මාග් මේග් ගාග්" කෑල්ල ලොකුයි කීමට මම අසීරු තැතක් ගන්නවා. "මල්ලිකා බේබිගේ සපත්තු හවසට හොදලා දාන්න. හරියට කිලුටු වෙලා" මේ හැම වෙලාවකම අම්මා මට එක එල්ලේ කතා කරන්නේ නැහැ.

පාට බෝඩරයකින් යුතු චාම් සාරියකින් සැරසුනු අම්මා කොන්ඩය කරලක් වෙන්න ගොතලා, පඩිපෙල බැහගෙන එනවා. එක අතකින් කලු පැහැ බෑගයක් එල්ලගෙන. අඩි උස් නොවූවත්, ඇගේ පාවහන් 'ටක් ටක්" හඬක් නැගුවා. ඈ වෙතින් කුමක්දෝ මල් සුවඳක් හැමුවා. මගේ අම්මා හරිම සුන්දර කෙනෙක්. 

ආපහු එනකොට සීයා තාත්තා හරි චමත් අයියා හරි මාව ගෙදර ගෙනාවා. ඒ දෙන්නම මට මගදි කෑමට මොනවා හරිම අරන් දුන්නා. වැඩියම සල්ලි නැති චමත් අයියත් අඩුම ගානේ යෝගට් එකක් හරි අරගෙන දුන්නා.

මේ දවස්වලම තමා සීයා තාත්තත්, ආච්චි අම්මාත් කසු කුසු ගානවා ඇහුනේ. අම්මාගේ මුන තිබ්බේ නරක්වෙලා. 

"මට බෑ ඕවා ගැන හිතන්න" අම්මා කියනවා ඇහුනා. "මම ලමයවත් බලාගෙන මෙහෙම ඉන්නම්" "ඔහොම හැමදාම ඉඳලා කොහොමද? අපි නැතිකාලෙක මොනවද කරන්නේ" ආච්චි අම්මාගේ කටහඬ වෙනදාට වඩා ඇහුනේ හය්යෙන්. "ඇයි මේ මම ඉන්නේ" කියලා මම ඇහුවේ නෑ. සීයා තාත්තා අම්මාගේ ඔලුව අත ගෑවා. අම්මා එයා දිහා බැලුවේ "ඇයි මාව ආය පාරක් අමාරුවේ දාන්න හදන්නේ" වගේ. සීයා තාත්තා නැමිලා අම්මාගේ ඔලුව ඉම්බා. අම්මාගේ ඇහැ කොනක කඳුලක් මම දැක්කා. ආච්චි අම්මා දවස් ගානක් තිස්සේ කරගන්න හදපු දේ සීයා තාත්තාගේ එක හාදුවකට හැකිවුනා.

ඊලඟ සති අන්තය වෙන්න කලින් අපේ ගෙදර පුංචි පහේ මගුල් ගෙදරකට ලෑස්ති වුනා වගේ. ආච්චි අම්මා කුස්සියෙමයි. මල්ලිකා කට්ලට් බදිනවා. අච්චාරු හදනවා. මාලු ඇඹුල් තියල් දානවා. අම්මාත් කේක් එකක් හැදුවා.

එදා ආච්චි අම්මා මගේ ආසම රෝස පාට ගවුම මට ඇන්දුවා. කොන්ඩේ ගොතලා, රෝස පාට පීත්ත පටියක් ගැට ගැහුවා. "කතා කරන කල් කාමරේ ඉන්න" එයා මට කීවා.

පහලින් සද්ද ගොඩක් ඇහුනා. කාර් එකක් එන සද්දේ, අමුත්තන්ගේ ඉංග්‍රීසියෙන් කෙරුනු කතා බහ, තේ කෝප්ප ගැටෙන හඬ. ඊලඟට අම්මා මාව ඇවිත් එක්ක ගියා.

ඒ දවස මට අද වගේ තාම මතකයි. 

සාලේ කවුලුවක් දෙසින් එලිය බලාගෙන හිටියේ උස් පුද්ගලයෙක්. මගේ තාත්තා තරම්ම ඇති. ඒත් මෙයා ඒ වගේ සුදු නැහැ. කලුයි. "මේ අංකල් එක්ක කතා කරන්න" මගේ කනට කොඳුරපු අම්මා එතනින් ඉවත් වෙලා කුස්සිය පැත්තට ගියා. අමුත්තා ටික වෙලාවක් යනකල් මා දිහා බැලුවේ නෑ.

ඔහු මා දෙස හැරුනේ කලබලයක් නැතුව. ඔහු අදටත් නිශ්ශබ්ද කෙනෙක් වගේම කිසිම දේකට කලබල නොවෙන කෙනෙක්. ඔහු මා දිහා එක එල්ලේ බලාගෙන හිටියා. මගෙන් ඔහුට ලකුණක් වැටුනේ ඒ මොහොතේ. "ඉඳගන්න" ඔහු මට කියා, ලඟ වූ පුටුවක හිඳ ගත්තා. මම ඉඳගත්තේවත්, ඔහු බලකලේවත්  නෑ. තවත් ලකුණක් ඔහුට එකතු වුනා. "මම..." ඔහු මට ඔහුගේ නම කීවා. හරියට වැඩිහිටියෙකුට කතා කරනවා වගේ.

ඔන්න තවත් ලකුණක්. 

"ඔයාගේ නම මොකක්ද?" මම ඔහුට මගේ නම කීවා. "ෂා හරි ලස්සන නමක්" වගේ දේවල් ඔහු කියන්න ගියේ නෑ. ඒ වෙනුවට ඔහු ඇහුවේ "අර ඔයාගේ තාත්තද?" කියලා. තාත්තාගේ ෆොටෝ එකක් සාලයේ කබඩ් එකක් උඩ තියෙලා තිබුණා. එයා අපි දෙන්නා දිහා බලා හිටියා. "ඔව්" මම පිලිතුරු දුන්නේ ඔහු දිහා බලාගෙනම. "ඔයාට එයා මතකද?" "ඔව්" මම ආයෙම ඔලුව හෙල්ලුවා.

"ඔයාගේ අම්මා හොඳ කෙනෙක්. ඔයා කැමති නම් මම ලෑස්තියි එයාව කසාද බඳින්න" "මම කැමති නම්?" ඔහු ලකුණු ඔක්කොම ඒ කියමනෙන් එකතු කරගත්තා.

ඒත් ඒ වුනාට ඔහු එන හැම දවසකම මම ලෙඩ වුනා එක්කෝ උණ නැත්නම් බඩේ අමාරුව. ආච්චි අම්මා මාව බලාගන්න පොරොන්දුව පිට අම්මලා එලියට ගියා. සමහර වෙලාවට ඔවුන් මාවත් එක්කගෙන ගියා. ඔවුන් දෙදෙනාගේ අත් අල්ලන් ඉන්න වෙලාවට මට සතුටක් වගේම තාත්තා මතක්වෙලා පොඩි දුකකුත් දැනුනා.

අම්මා ටික ටික වෙනස් වුනා. ඒ දෙන්නා එනකොට අම්මාගේ කම්මුල් රතුවෙලා. එයා හොරැහින් ඔහු දිහා බැලුවා. ඔහුගේ මුව අග හීන් හිනාවක් පෙනුණා. අම්මා ලස්සනට අඳින්න පටන් ගත්තා. මේක්-අප් යාන්තමට දැම්මා. අම්මා ගොඩක් ලස්සනට පෙනුණා.

හොඳට ඉර එළිය වැටුනු, ලස්සනට මල් පිපිලා තිබුණු, කුරුල්ලෝ ගී කියපු එක් දවසක, ලඟම නෑයින් කීප දෙනෙකුට විතරක් කියලා ඒ දෙන්නාගේ මංගල්ලේ ඉතා චාමෙට අපේ ගෙදරදි සිද්ධ වුනා. අලුත් තාත්තාගේ කලින් බිරිඳ මිය ගිහින්. ඒ විවාහෙන් ඔහුට මගේ අවුරුද්දෙම ඉපදුණු, මට වඩා මාස ගනනාවකට බාල දියණියක් හිටියා. ඇය දකින්න කලින්ම මම තීරණය කරගෙන් හිටියේ එයාට වෛර කරන්න. අලුත් තාත්තාගේ පැත්තකින් ඇඟිල්ලක් කටේ දාගෙන හිටපු ඒ අහිංසක ගෑනු ලමයා මා දිහා බලපු මොහොතේ ඉඳන් මම එයාට ආදරේ කරන්න පටන් ගත්තා.

ඒ තමා ටානියා.


Thursday, 20 October 2016

මිදි ඇඹුල්!



























(thanks to Surin Jayawardana :) )


මිනිස්සු කියන්නේ හරිම පුදුම ජාතියක්. හැමෝම කැමති සුරංගනා කතාවලට. අවසානය හොඳින් නිමවෙන චිත්‍රපටිවලට. නවකතාවලට. ඒවායේ අවසානය කොහොම වුනත්, ඒවා ඇත්ත නෙමේ හින්දා හිත හදාගන්නත් අමාරු නෑනේ. 

මම හිතුවා මගේ කතාව මැද්දෙන් නතර කරලා වෙන පැත්තකට යමු කියලා. අනික් අයට දුක හිතෙන දේවල් කියලා එයාලගේ හිත රිද්දන්නේ මොකටද කියලත් හිතුණා.

ටානියා මගේ ජීවිත කතාවේ ඔය කියන හරියෙදි ඇතුල් වෙලා තිබ්බේ නැහැ. එයා මට මුන ගැහුනට පස්සේ මගේ හොඳම යෙහෙළිය වුනේ එයා. කලින් වතාවක කීවා වගේ එයාගේ අම්මා බර්ගර් ජාතික කාන්තාවක්. ඒ හන්දා එයා හිතන විදියේ වෙනස්කමක් තිබුණා. මම කොළඹ ප්‍රසිද්ධ කාන්තා විදුහලක ඉගෙනීම ලබද්දි, එයා ගියේ අන්තර්ජාතික පාසැලකට.

අපි දෙන්නා පිස්සු නැටුවා කීවොත් හරි. 

අපි රෑ තිස්සේ කෑගහමින් හොල්මන් ෆිල්ම්ස් බැලුවා. මේ හොල්මන් සමහර දවස්වලට හීනෙනුත් අපි දැක්කා. කලුවර, වැහි දවස්වල හැබැහින් වගෙත් පෙනුනා.

ප්‍රේම කතා බලමින් ටිෂූ පෙට්ටි ගනන් ඉවර කලා. තරුනයෝ ඔය විදියට අර අහිංසක ගෑනු ලමයි දාලා යන්නේ කොහොමද? අපේ ඇස්වලින් කඳුලු කඩා වැටුනා. අම්මලා තාත්තලා ඔය විදියට ජෝඩු වෙන් කරන්නේ කොහොමද? අපි හඬා වැලපුනා.

මූනුවල පාට ගාමින්, කොන්ඩා හදමින් වද දුන්නා. අනුගමනය කිරීමට තැත් කලේ ගොඩක් දුරට බටහිර නිලියන්ව. ටානියා වතාවක් කොන්ඩේ රතුපාට කලා. "ඔයාගේ යාලුවගේ හැටි" කියමින් අම්මා හිනාවුනා. ටානියාගේ තාත්තා කෑගැව්ව හන්දා පහුවෙනිදම එයාගේ කොන්ඩය කලුපාට වුනා. අපිට ඒ කාලේ අපේ පර්යේෂණවලට වැඩිහිටියන්ගෙන් සෑහෙන බාධා තිබ්බා.

කෙල්ලෝ ඉස්කෝලවල කියන කතා, විද්‍යාඥයෝ දෙන්නෙක් වගේ ආපහු,  ආපහු සාකච්චා කලා. "ඇත්තටම එහෙම වෙන්නේ කොහොමද?" අපේ සාකච්ඡා වලට භාජනේ වුනේ බබාලා හම්බ වෙන හැටි වගේ බරපතල ඒවා තමා. 

එක්තරා වයසකට ලංවුනාට පස්සේ, අපේ බලාපොරොත්තුව වුනේ කොහොමහරි කොල්ලෙක් එක්ක යාලුවෙන එක. වයස එකොලහ, දොලහ වගේ කාලෙදි, කෙල්ලෝ පේන්නේ පුංචියට කියලා අපි දැනගෙන හිටියේ නෑ. 

එයාලා බැලුවේ, හොඳට ඇඟ පත හැදුණු, එක්, එක් මෝස්තරේ කොට ගවුම් අඳින,  බීම කටේ තියන, නටන (මේක නම් ඉතින් ඕනම කෙනෙකුට කල හැකි දෙයක් නේ) වෙනත් දේවල් පාවිච්චි කරන අය කියලා අපි මොහොතකටවත් හිතුවේ නෑ.

අපි ඉතින් මෝඩයෝ වගේ කොල්ලෝ වර්ග කලා.

ලංකාවේ හැම තැනකම හොඳ ඉස්කෝලත්, කඩවසම් කොල්ලෝ හිටියත් අපි දැනගෙන හිටියේ කොළඹ අවට පාසැල් කීපයක අය ගැන විතරයි. ඒ හන්දා කියවන අනෙක් ඉස්කෝලවල අය අමනාප නොවෙයි කියලා හිතනවා.

අපි මුලින් හොඳයි කියන ඉස්කෝල ගැන බැලුවා. ටානියාගේ තාත්තාගේ හා අම්මාගේ පැත්තෙන් නෑයෝ වෙන පිරිමි ලමයි බර ගානක් හිටියා. අපේ පර්යේෂණවලට නොදැනුවත්වම උදව් කලේ මේ අය.

ශාන්ත තෝමස් විද්‍යාලය. ඉංග්‍රීසි බාවිතය අතින් දක්ෂ වුනත් ඒ කොල්ලෝ පෙනුනේ ඉගෙනීමට වඩා වෙනත් දේවල් කරපු අය හැටියට. එයාලා අපිට එක අයියා කෙනෙක් කියලා දුන්නු හැටියට 'ග්ලින් ග්ලින්' පාවිච්චි කලා. හානිදායක දෙයක් නෙමේ. බේතට වගේ ගන්න එකක්ලු. එයාලා ඉංග්‍රීසියෙන් කතා කරන කොට අපිට තේරෙන්නෙත් නැති තරම්. අපි ඉතින් කට ඇරගෙන බලා ඉන්නවා. යාලුවුනොත් ඒ ඉංග්‍රීසිවලට මොනවා ආපහු කියයිද දන්නේ නැති හන්දා එයාලව ලැයිස්තුවෙන් කපන්න සිද්ධවුනා.

ආනන්ද විද්‍යාලය හොඳයි. සිංහල හොඳයි. ඒත් එයාලගේ තිබුණා "අපි ආනන්ද" කියන එක තදින්ම. අනෙක එයාලා කොළඹ තිබ්බ සමහර බාලිකාවල ගෑනු ලමයි එයාලගේ වගේ තමා හිතන් හිටියේ. "ආ...ඒ ඉස්කෝලේ නංගිලා අපේ. " එකපාරක් එක අයියා කෙනෙක් කීවා. "එහෙම වෙන්නේ කොහොමද? ඔයාලට එයාලව ලියලා දීලා නෑනේ?" කියලා අහන්න හිතුනත් ඉතින් ඒ කාලේ දැන් වාගේ කට නැති හන්දා සද්ද නැතුව හිටියා. 

රෝයල් එකේ ලස්සන කොල්ලෝ හිටියා. ඉගෙනීම කමකට නෑ.  අපිට හිතුනේ ඔහොමයි. කමකට නැතුවද? නැත්නම් අපි දන්න අය ඉගෙනීමට ආසා නැතුවද කියන එක හිතෙන්නේ දැනුයි. ඔය රෝයල් අයියලා තරහා වෙනවා එහෙම නෙමේ. වයස අවුරුදු එකොලහක ලමයින්ට එච්චර තේරුමක් නෑ.

නාලන්ද පණ මදි. පණ තියෙන කවුරුත් දැක්කේ නෑ. ඒකයි. මතක් කරලා බැලුවාම, කොටින්ම කීවොත් ඒ ඉස්කෝලේ කවුරුවත්ම දන්නේ නෑ වගේ.

ඩී.එස්. නම් පරිප්පුම පරිප්පු. "අර යන කෙල්ල පේනවා නේද? එයා අපේ ඉස්කෝලේ අහවලාගේ ගර්ල්" අයියා කෙනෙක් අපිට කීවා. "කවදද එයාලා යාලු වුනේ?" කෙල්ලගේ ලස්සන දැකලා පුදුම වුනු අපි ඇහුවා. "තාම එයා ඒ ගැන දන්නේ නෑ. " ඒ අයියා, එයාගේ යාලුවා ගැන කීවා.

ඒක හරිගියේ නෑ. පස්සේ ස්පෝර්ට්ස් කරන අය ගැන කල්පනා කලා. ඒත් එයාලා සෙල්ලම් කරලා එනවෙලාවට පැත්තේ ඉන්න බැරි ගතියක් තමා දැනුනේ. සිංදු කියන හිතට ගත්තු කට්ටිය, ඔය වගේ අය තේරිලා තේරිලා අහකටම ගියා. එක, එක ආගමික අය ගැන නොයෙකුත් කතා අහන්න ලැබුණා. ඊට පස්සේ තමා හිතුණේ මොන ගොන් වැඩක්ද මේ කරන්නේ කියලා.

ඊට පස්සේ අපි තීරනය කලා හොඳට ඉගෙන ගත්තට පස්සේ හොඳ අය ඉබේම මුණ ගැහෙයි කියලා. ඒ නුවනක්කාර හිතුවිල්ලේ ප්‍රතිපලයක් විදියට අපි දෙන්නම හොඳින් ඉගෙන ගන්නවා. ටානියා මෙල්බන් නුවරත්, මම වෙනත් රටකත්.

මේ කතාව "මිදි ඇඹුල්" කතාව වගේ වුනත්, ඒ හා සමාන නොකරන හැටියට කරුනාවෙන් හැමෝගෙන්ම ඉල්ලාහිටින්න කැමතියි.

Monday, 17 October 2016

එදා ඉඳන්!


























මට මතක හැටියට එදා හරිම මූසල, පාලු දවසක්. හරියට පාට නොකරපු, බොඳවෙච්ච, අඳුරු චිත්‍රයක් වගේ. තාත්තා ඊට ටික දවසකට කලින් රෝහලට ඇතුල් කරලා තිබුණා. උණ රෝගයක්. ඒ එක්කම දොස්තරවරුත් ස්ට්‍රයික් කරලා. අම්මා මාව ඇදගෙන රෝහලට දුවනවාත්, අමාරු වුනු තාත්තාට ලේ හොයන වැඩේට සීයා තාත්තා දුවනවාත් මට යාන්තමට මතකයි. අපි එදා හවස තාත්තා බලන්න යද්දි එයා හැසිරුනේ අමුතු විදියකට. 

"මට දුක මගේ කෙල්ල ගැන" එයා අම්මාට කීවා. වෙනදා දකින තාත්තාට වඩා වෙනස් කෙනෙක් තමා ඒ ඇඳේ දිගා වෙලා හිටියේ. මගේ තාත්තා උස, සුදු, ලස්සන කෙනෙක්. එයා මාව අතින් අල්ලන්න හදනකොට මම අම්මාට පස්සට වුනේ බයෙන්. තාත්තාගේ ඇස්වල කඳුලු මම යන්තමට දැක්කා.

"පිස්සු කතා නොකියා ඉන්න" අම්මා තරමක් තදින් කීවා. "මම ඔයා ආසා එලවලු සුප් එකක් අරන් හවසට එන්නම්"

අම්මා ගෙදර ගිහින් නිදාගත්තා. මම ඇගේ පය පාමුල මගේ බෝනික්කා එක්ක සෙල්ලම් කලා. හදිසියේ ඉස්සරහා දොර ඇරෙනවාත්, කටහඬවල් වගේකුත් ඇහුනා. අම්මා ඇස් ඇරියා. කාමරේ දොර ඇරගෙන ආවේ අම්මාගේ පොඩි නැන්දා. ඇගේත්, ආච්චි අම්මාගේත් මූනු දැක්ක මගේ අතින් බෝනික්කා බිම වැටුනා. එයාලා අම්මා දිහාට නැවිලා මොනවදෝ හිමිහිට කීවා. අම්මා කෑගහන ගමන් මාව තල්ලු කරලා දැම්මා. ආච්චි අම්මා මාව අරගෙන අඬමින් කාමරෙන් එලියට ගියා. මට මතක මම බෝනික්කා උඩින් යන එක විතරයි.

පහුවෙනිදා අපි තාත්තා අරගෙන එයාගේ ගමේ ගියා. කාර් පෙරහැරක්. ආච්චි අම්මා මාව ඔඩොක්කුවේ තියාගෙන ගියා. අම්මා අපි කා දිහාවත් බැලුවේ නෑ. තාත්තලාගේ ගෙදර පිරිලා හිටපු මිනිස්සු වැඩියම බැලුවේ තාත්තා දිහා නෙමේ අම්මත්, මාත් දිහා. 

"කොච්චර ලස්සන වුනත්, සල්ලි තිබුනත් මොකටද මූසල නම්" ඒ මූණුවලින් කියැවුනා. සමහරු ඇහෙන්නමත් කීවා.

අම්මා මාව ලඟටවත් ගත්තේ නෑ. "මේ ලමයව අහකට ගෙනියන්න" ඈ ආච්චි අම්මාට කීවා. 

ඉස්සර අපි තුන්දෙනාම නිදා ගත්තේ එකට. මාව මැදින් තියාගෙන එයාලා මට නින්ද යනකල් කතන්දර කීවා. "බඩා" සමහර වෙලාවට අම්මා තාත්තාට විහිලු කලා. "දැන් බඩකුත් ඇවිල්ලා" තාත්තා ඒ වෙලාවට අම්මාට තව මොනවා හරි විහිලුවක් කරනවා. විහිලුව මට තේරෙන්නේ නෑ. ඒත් අම්මා හය්යෙන් හිනාවෙනවා.

මම හිමින් සැරේ සාලෙට ගියා. ගමේ ආවාම මා එක්ක සෙල්ලම් කරපු ගෑනු ලමයා අඬමින් මා දිහා බලා ඉන්නවා. එයාට හරියට සිංහල කතා කරන්න බැරිබව මට මතකයි. එයාට වඩා උස්වෙන්න මට ඕනි වුනාම එයා මාව වඩාගන්නවා . "ඔන්න දැන් බේබි මට වඩා උසයි." 

තාත්තා සාලේ තිබ්බ පෙට්ටියක නිදනවා. ඔහුගේ ඔලුවට උඩින් පහනක් දැල්වුනා. ලොකු තාත්තා ඒකේ දැල්ල සකස් කලා. ගමේ ආච්චි ඒ ලඟින් ඉඳන් හීල්ලුවා. එයාට තව පුතෙක් හිටියා. අපේ ආච්චිගේ පුතා නැතිවුනා. තාත්තා හරිම කලුපාටයි. ටිකක් විතර අමුත්තක් දැනුනත් මම දැනගෙන හිටියා එයා මට ගොඩක් ආදරේබව. මම හැදුවා එයා ලඟින් නිදාගන්න. සීයා තාත්තා ඇවිත් අඬමින් මාව අරගෙන ගියා.

එදා ඉඳන් අම්මා කා එක්කවත් කතා කලේ නෑ. මාව බලාගත්තේ ආච්චි අම්මා. මම කාලයක් යනකල් හීනෙන් බයවුනා. පන්සලේ ලොකු හාමුදුරුවෝ වැඩලා, මටත්, අම්මාටත් පිරිත් කීවා. 

සීයා තාත්තා අපි දෙන්නව එයා දන්න දොස්තර කෙනෙක් ලඟටත් ගෙනිච්චා. එයා මගෙන් එක, එක ප්‍රශ්න ඇහුවා. මම මොනවා කියන්නද? මම එයා දිහා ආපහු බලාගෙන හිටියා. තාත්තෙක් නැතිවුනාම ඇත්තට දුවෙක් මොනවා කියන්නද?

අම්මා වෙනස් වුනේ තාත්තා නැතිවුන දා ඉඳන්. 

තාත්තා නැතිවුනේ මගේ අවාසනාවට කියලා එයා හිතනවද?

මම මේ ලෝකෙට ආවේ මට ඕනිවටද?

අම්මේ, මම මොන වරදක් කලාටද ඔයා මට ආදරේ නැතිවුනේ?

එදා ඉඳන් මේ ලෝකෙට පුංචි මෙඩුසා කෙනෙක් උපන්නා!


Friday, 7 October 2016

ගමන තව දුරයි!


























මම ටිකෙන් ටික ලොකු වෙද්දී, අම්මා ටිකෙන් ටික වෙනස් වුනා. මම ලොකු ළමයෙක් වෙන කාලය වෙන කොට අම්මා ගොඩාක්ම වෙනස් වෙලා. අම්මාගේ වෙනසට මගේ හැසිරීමත් හේතුවක් වෙන්න ඇති. 

අම්මා කියන විදියට මම ආදරේ ගැන කිසිම හැඟීමක් නැති කෙනෙක්. එතකොට ඒ දෙන්නාගේ, ඒ කීවේ අම්මාගේ සහ තාත්තගේ තිබුණු ආදරේ හැඟීම් පිරිල ඉතිරිලා ගිය ආදරයක්ද? 

අපේ පවුල හරිම ජංජාලයක් කීවොත් හරි. හැම පවුලකම වගේ කේලම්, අඬ දබර අපේ පවුලෙත් තිබුණා. අම්මා පවුලේ එකම ළමයා. සීයා තාත්තාට නංගිලා දෙන්නෙකුත්, මල්ලිලා දෙන්නෙකුත් හිටියා. ආච්චි අම්මාට හිටියේ නංගිලා දෙන්නෙක්. ඒ අය සෑහෙන්න බාල හන්දා වැඩිය ලං වුනේ අපේ අම්මට.

අම්මාගේ නැන්දලා, ආච්චි අම්මාට පොඩ්ඩක්වත් කැමති නෑ. ඇත්තටම එයාගේ සමහර හැසිරීම් තේරුම්ගන්න මටත් බෑ. සීයා තාත්තාගේ රියැදුරු චමත් අය්යට එයා සැලකුවේ වැඩකාරයෙකුට වගේ. 

"කොල්ලෝ කුස්සිය පැත්තට ගිහින් මොනවා හරි කෑවා නම්" එයා කියනවා. 

ඒ වෙලාවට චමත් අය්යාගේ මූන නරක් වෙනවා මම දැකලා තියෙනවා. ඒත් සීයා තාත්තා චමත් අය්යාව ලඟින් වාඩි කරලා කන්න දෙනවා. 

"ඔහොම කරපුවාම ඔය මිනිස්සු එනවා කරේ නගින්න" ඇය සීයා තාත්තාට කියනවා.

අම්මාව නරක් කරලා තියෙන්නේ ආච්චි අම්මා බව පවුල් දෙකේම අය හිතනවා. තාත්තා මම ගොඩක් පොඩි කාලේ වැඩ කරලා තියෙන්නේ කොළඹින් ගොඩක් දුර පළාතක. අම්මාට එහේ සැප මදි කියලා ආච්චි අම්මා හැම තිස්සෙම කීවලු. මේ නිසාම අම්මා සැරින් සැරේ ගෙදර ගිහින් තියෙනවා. තාත්තාට කෑම දීලා තියෙන්නේ ළඟ ගෙදරකින්. 

දවසක් මහ රෑ මේ දෙන්නා රණ්ඩු කළාම, අම්මා සීයා තාත්තාට ෆෝන් කරලා ගෙන්නගෙන. අම්මා එයාගේ උකුල උඩ වාඩිවෙලා ඇඬුවලු. ඒ කතාව කීවේ තාත්තාගේ අයියාගේ නෝනා. මගේ ලොකු අම්මා. එයා මධ්‍යම පාන්තික ගැහැණියක්. අපේ අම්මාට ඉරිසියා කරපු කෙනෙක්.

"මම නම් එදාමයි එයාව ගෙදර යවන්නේ" එයා කීවලු. 

ලොකු තාත්තලා හිටියේ පිටරට. එයාලට දුවලා දෙන්නෙක් හිටියා. බලපුවාම පෝසත්කම බේරෙනවා කියලයි ආච්චි අම්මා කීවේ. මට නම් එහෙම පෙනුනේ නෑ. ඉඳගන්න අමාරු කොට ගවුම් දෙකක් නම් ඇඳගෙන අපේ ගෙදර ආවා මට මතකයි.

එයාලා ආවාම ගෙවල්වල නතර වුනේ නෑ. ෆ්ලැට් එකක් කුලියට ගත්තා. අම්මා මාත් ඇදගෙන ගිහින් එයාලට උදේ කෑම හදනවා මට මතකයි. ඒ අක්කලා මාව අරගෙන ගිහින් ගොඩක් සල්ලි වියදම් කරලා ඇඳුම් අරගෙන දුන්නා. මම එයාලට වැඩිය කතා කළේ නෑ. එයාලා හිතුවේ මම ගොඩක් ලැජ්ජයි කියලා. මම හිතුවේ එයාලා ගොඩක් මෝඩයි කියලා.

මම ළඟදි කියෙව්වා හරි ආදරයක් දැනෙන්නේ මැදිවියට ආවට පස්සේලු. මුලින් මිනිස්සු විවාහ වෙන්නේ ආසාව පාලනය කරගන්න බැරිවුනාමලු. ඉතින් ළමයි ලැබිලා, එයාලා උස් මහත් කරලා කාලයක් ගියාම ලබන හිස් වකවානුවෙදි එයාලට තමන් හොයන නියම ආදරේ මුණ ගැහෙන්න පුළුවන්ලු.

මේ කතාව දැක්කාම බයත් හිතෙනවා. එහෙම වෙන්නේ කොහොමද? එහෙමනම් ඉතින් මැදිවිය එනකල් ඉඳලා ඔය නියම ආදරේ තියෙන කෙනෙක්ව හොයාගත්තාම හරි. මට හිතුනේ එහෙමයි.

මට තියෙන තවත් ප්‍රශ්නයක් තමා එක්කෙනෙක් එක්ක කොහොමද ඔහොම සදාකාලික ආදරයකින් ඉන්නේ කියන එක. එකට ඉන්නකොට තමා දෙන්නෙක්ගේ වැරදි පේන්නේ. පිළිවෙලට තියෙන නාන කාමර අවුල් කරලා, ගෙවල් ජරා කරලා , තව කොහෙවත් යන පිරිමින්ගේ වැඩ කරලා, එයාලගේ බැණුම් අහලා. අනේ මට නම් බෑ වගේ. අනෙක පස්සේ හොඳ කෙනෙක් මුණගැහුනොත්? 

මට ඔය කියන ආදරේ මේ ජීවිතේදිනම් ලැබෙන්නේ නැතිවෙයි. අම්මාගේ ආදරේ දිනාගන්න බැරි කෙල්ලෙක් කොහොමද පිට පිරිමි කෙනෙක්ගේ ආදරේ දිනා ගන්නේ. 

මෙඩුසා, සුරංග අය්යා කියනවා වගේ මධූෂා, ඔයාට තව ගොඩක් දුර යන්න තියෙනවා.

ගමන තව දුරයි!

Sunday, 2 October 2016

අහසින් පොළොවට...



























මට තාමත් හරියට තේරුම්ගන්න බැරි එක දෙයක් තමයි කොහොමද තරහව පාලනය කර ගන්නේ කියන එක. හැම කෙනාම හරිම අසාධාරණයි කියන එක හිතුනු ගමන් මගේ හිතට එන්නේ තරහාවක්.  විශේෂයෙන්  මගේම අම්මා ගැන!

"මොනවද ඔය කොණ්ඩෙට කරගෙන තියෙන්නේ?" ඇය අහන්නේ මගේ මූණ දිහාවත් බලන්නේ නැතුව.

මගේ කොණ්ඩේ කොහොමත් රැළි. පාලනය කරගන්න හරිම අමාරුයි. දිග කූරු කොණ්ඩයක් තිබුණානම් කියලා වෙලාවකට හිතෙනවා. අනික් අය වගේම මමත් කැමති මට නැති දේවලට. ඉතින් මම යාළුවොත් එක්ක වෙලාවක් ලැබුනාම කරන්නේ කොණ්ඩයට පුළුවන් තරම් වද දෙන එක.

"මොකක්ද ළමයෝ මේ ගවුම?"

ආච්චි අම්මා අහන්නේ අම්මාගෙන්. කොලර් එකක් දාපු, චූටි අත් දෙකක් අල්ලපු , මල් වැටිච්ච ගවුමක්. මගේ ඇස් නතර වෙන්නේ නලලේ. මේ වගේ ගවුම් දැන් කාලේ කවුරුත් අඳිනවා මම නම් දැකලා නෑ. සමහරවිට අම්මා පොඩිකාලේ අඳින්න ඇති!

"මේක ඇඳගෙන කොහොමද පාර්ටි එකකට යන්නේ?" ආච්චි අම්මා ආයෙත් අහනවා.

"ටානියානම් ලස්සන ගවුමක් අරගෙන තිබ්බා." මට කියවෙන්නේ ඉබේටම.

"ඒක ලා රෝස පාට ලස්සන ගවුමක්. ඒ ගවුමේ පිටක් තිබ්බෙත් නෑ!"

"ඔයා ටානියා නෙමෙයි!" අම්මා මගේ මූණ දිහාවත් නොබලා කියනවා. ඇය කතා කරන්නේ කිසිම හැඟීමක් නැතිව. ඒ මූණෙන් කිසිම දෙයක් පිටට දෙන්නේ නෑ.

ඔව්, ඉතින්. ටානියාගේ අම්මා බර්ගර්. මගේ අම්මා සිංහල.

ඇත්තටම අම්මා වෙනස් වුනේ කවදා ඉඳන්ද? මට වයස අවුරුදු පහක් විතර කාලේ වෙනකල්ම අම්මා කොච්චර නම් මට ආදරය කළාද? එයා චූටි මෙඩුසාව බදාගෙන ඉඹින හැටි මට තාම මතකයි. ඒ ස්පර්ශය, සුවඳ මට තාම දැනෙනවා වගේ.

"ලස්සන බබෙක්" මිනිස්සු මා දිහා බලලා කීවා.

"අම්මා වගේමයි!"

අම්මා මට ආදරය කලේ හරියට එයාට සෙල්ලම් කරන්න කවුරු හරි බෝනික්කෙක් ගෙනත් දීලා වගේ. මගේ තාත්තා මට ආදරය කලේ වෙනත්ම විදියකට.

"දුව දැන් අම්මට වඩා ලස්සනයි!"

තාත්තා එහෙම කියනකොට එයාට ඊර්ෂ්‍යා හිතුනද? නැත්නම් දුව ලොකු වෙලා අම්මට වඩා හැඩ වෙනවා දකිනකොට එහෙම වුනාද? අර හිම කුමාරිගේ කතාවේ එන පුංචි අම්මා වගේ. ඒ වුනාට මේ මගේම අම්මා. පුංචි අම්මා කෙනෙක් එහෙම වුනා නම් තව තේරුම් ගන්න තිබුනා.

සමහර වෙලාවකට දැන් මට කල්පනා වෙනවා ඇයි මගේ තාත්තා අම්මාව විවාහ කරගත්තේ කියලා. තාත්තා ගමක ඉපදුනු, ගොවි පරපුරක ගොවියෙක්ගේ පුතෙක්. සරමක් අඳින, බුලත් හපන ඒ සීයාට වඩා අම්මාගේ තාත්තා කොච්චර නම් වෙනස්ද? ඔහු සද්දන්තයි. මම බය නැති වුනාට දකින කාටත් බය හිතෙන විදියේ කෙනෙක්. සීයා තාත්තා කාරෙකෙන් ඇවිත් බහිනකොට 'මල්ලී' කියලා එයාට පාත්වෙලා වඳින ගමේ සීයා ගැන මටත් දුකත් හිතෙනවා. ගමේ ආච්චි ගෙදරට ඇන්දේ රෙද්ද හැට්ටේ. ආච්චි අම්මා ගෙදරට ඇන්දේ දිග ගවුම්.

මගේ අම්මා ගොඩාක් පොහොසත් කෙනෙක්. සල්ලි වගේම බලයත් එයාගේ පවුලේ අයට තිබුනා. ඒ තියෙද්දි මගේ තාත්තා වගේ කෙනෙක්ව එයා තෝරා ගත්තේ ඇයි. ඔය පොත්වල, ෆිල්ම්ස්වල තියෙනවා වගේ ආදරයක දෙන්නා පැටලිලා හිටපු නිසාවත්ද?

නැත්නම් තාත්තා ගොඩක් දුර ඉගෙන ගත්තු, ලොකු රැකියාවක් කළ කෙනෙක් නිසාද?

මේ මොනවා තිබිලත් වැඩක් නෑ. මම හරි අවාසනාවන්ත කෙල්ලෙක්. ඒක මම දැන ගත්තේ චූටි කාලෙම. අර "ලස්සන බබෙක්" කීව මිනිස්සුම මා දිහා බලලා "හරිම අවාසනාවන්ත දැරිවියක්" කියන්න පටන් ගත්තු වෙලාවේ ඉඳලම. සල්ලි තිබුණත්, ලස්සන තිබුණත් වැඩක් නෑලු අවාසනාවන්ත වුනාම.

දෙව්දුවක් අහසින් පොළොවට වැටුනා වගේ. අහිංසක මෙඩුසාට මිනිස්සු කරදර කරලා එයාගේ නිවසින් එලියට ඇදලා දැම්මා වගේ...

මෙඩුසා වගේම මමත් ඒ ගෙදරින් යන්න ගියා. ඈතට. ඈතට. ඈතටම...........

Tuesday, 27 September 2016

ඇස් දිහා බලන්න!


Image result for medusa statue thessaloniki

මෙඩුසා කියන්නේ අඳුරේ වසන, බිහිසුණු, විරූපී, දුෂ්ට, අද්භූත, මනඃකල්පිත සත්වයෙක්. ඇගේ හිස කෙස් වෙනුවට දකින්න ලැබෙන්නේ භයංකාර සර්පයින්. ඒ වගේම ඇගේ රත් පැහැති දෑස දිහා කෙලින්ම බලන අය ගල් රූප බවට පත් වෙනවා. මිථ්‍යා දේව කතා අදහන අය යක්ෂනියෙක් හැටියට ඉවත ලන කෙනෙක් විදියට ඇය හඳුන්වන්න පුලුවන්.

ඇය ගැන තියෙන කතා බොහොමයි. ග්‍රීක් දේව කතාවල එන අමනුෂ්‍ය දෙමව්පියන්ගෙන් උපන්න සොහොයුරියන් තිදෙනෙක්ගෙන් කෙනෙක් ඇය. එම මිථ්‍යා කතාවලට අනුව, මුලදී ඇය රන් කෙස්කළඹක් සහිත,  ඉතාමත් සුරූපී තරුණියක්.  ඇතීනා දෙවොලේ බඹසර රැකි, පූජකවරියක්. මුහුදට අධිපති දෙවියාගේ පෙළඹවීම නිසා ඇය ඔහු හා ආදරෙන් බැඳෙනවා. ඈ තමන් සමඟ වූ ගිවිසුමක් කඩකිරීම නිසා කෝපයට පත්වන ඇතීනා දෙව්දුව මෙඩුසාට දඬුවම් කරනවා. මෙහිදී ඇගේ ස්වාමියා ආදරය කළ ඇගේ අක්බඹර හිසකේ විෂඝෝර සර්පයන් බවට පත්වෙනවා. ආදරෙන් පිරුණු, මෘදු දෑස් ලේ පැහැ ගැන්වෙනවා. ඒ දෑස් මිනිසුන් තුල ඇති කරන්නේ භීතියක් වගේම පිළිකුලක්. ඇගේ කිරි පැහැ සම කොළ පැහැයට හැරෙනවා.  තමන්ගේ අප්‍රසන්න රූපය දකින ඇය ආපහු නේන පරිදි නිවසින් පැන ගොස් ඉබාගාතේ ඇවිදිනවා. රූපයට ගැලපෙන පරිදි වෙනස් වෙනවා. අන්ත, අසරණ ජීවිතයක් ගත කරලා, අවසානයේ මියයනවා.

තවත් කතාවකට අනුව, ඇය ඉතාමත් රූමත් යුවතියක්. ඇතීනා දෙව්දුවගේ දෙවොලෙදී, තමා ඇයට වඩා රූමත් යැයි පැවසුව බැවින් ඈ ලැබූ දඬුවම මෙයයි. මේ කතා හැම එකකින්ම පෙනෙන්නේ ඇගේ රූමත්කමට ඉරිසියා කල දෙව්දුවක් නිසා මේ දේ ඇයට සිදුවුනු බවකුයි. අද කාලේ එක්ක බලනකොට මෙය සාමාන්‍ය සිද්ධියක්. බලය තියෙන අයගෙන් පීඩාවට පත්වෙන ඕනෑ තරම් කාන්තාවන් අද ඉන්නවා. සමහර තරුණියන් මේ අන්දමින් තමන්ගේ මවගේ පවා ඉරිසියාවට ලක්වෙන්න පුලුවන්. මව් ගුණම ගැයෙන අද කාලයේ මේ වගේ දෙයක් සිද්ධ වෙන බව, ගොඩක් අයට හිතාගන්න අමාරු ඇති. ඒත් ඇත්ත ඒකයි.

සමහර වෙලාවට, තම දෙමව්පියන් නිසා නිවසින් ඉවත්ව ජීවත් වෙන මෙඩුසාලත් අපි අතර ඇති. එහෙමත් නැත්නම්, මෙඩුසාගේ ඇතුලත ඉන්න දෙවියාත්, යක්ෂයාත්, අපි අතරම ඇති. ඒ නිසා මෙඩුසා කියන්නේ මට නම් දෙව්දුවක්.

මමත් එක්තරා විදියක මෙඩුසා කෙනෙක්. මෙඩුසා නමින් ලියන්න හිතුනෙත් ඒ හන්දයි. මෙතැන් සිට, වෙනමම ආරයක දෙව්දුවකගේ කතා ඔබලාට කියවන්න හැකිවෙයි.

පසු සටහන:  

මෙම බ්ලොගය පටන් ගැන්මට අවශ්‍ය මූලික කටයුතු සඳහා උපකාර කළ ආදරණීය ඔබට ගොඩක් ස්තූතියි! අනුබල දුන්නු යාළුවන් හැමෝටමත් ඒ වගේම ස්තූතියි!